
මීට දශක හතරකට පෙර තරුණ ගුවන් හමුදා සෙබළෙකු ලෙස සිය ජීවිතයේ ආදරණීයම හමුවීම සනිටුහන් කළ කදුරුවෙල දුම්රිය ස්ථානය සහ පොළොන්නරුව හතමුණ හංදියේ ජල කුළුණ නවීකරණය කිරීමේ පූර්ණ මූල්‍ය දායකත්වය සහ ප්‍රතිසංස්කරණ වගකීම ප්‍රවීණ ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විසින් භාරගෙන තිබේ.
තම 65 වන උපන්දිනයට සමගාමීව, තමන්ට ජීවිතය කියා දුන් පරිසරයට කෘතගුණ දැක්වීමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.
1980 දශකයේ දිනක සවස 2.30 ට කදුරුවෙල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ දුම්රියක දෙවන පන්තියේ මැදිරියකදී ඩඩ්ලි සිරිසේන මහතාට සිය ආදරණීය බිරිඳ වන “බියුටි” මහත්මිය පළමුවරට මුණගැසී ඇත. එදා ගුවන් හමුදාවේ මල්ලවපොර සහ රගර් ක්‍රීඩකයෙකු ලෙස කටයුතු කළ සිරිසේන මහතා සහ බියුටි මහත්මිය අතර ඇති වූ ඒ අහඹු හමුවීම, වසර 40 කට අධික ස්ථාවර යුග දිවියකට අඩිතාලම දමා තිබේ.
සිය ප්‍රේමයේ තිඹිරිගෙය බඳු වූ කදුරුවෙල දුම්රිය ස්ථානය අද වන විට පවතින තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙන ඒමට සිරිසේන මහතා සැලසුම් කර ඇත.
කදුරුවෙල දුම්රිය ස්ථානය: ලංකාවේ සුන්දරම දුම්රිය ස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු නවීකරණ කටයුතු සිදු කිරීම.
හතමුණ හංදියේ ජල කුළුණ: පොළොන්නරුව නගරයට අලංකාරයක් එක්වන පරිදි ජල කුළුණේ බාහිර පෙනුම සහ අවට පරිසරය නිර්මාණය කිරීම.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා ප්‍රකාශ කළේ, වයසින් මුහුකුරා ගියද එදා එම දුම්රිය ස්ථානය හා බැඳුණු නොස්ටැල්ජියාව (අතීත මතකය) තවමත් තමන් තුළ ජීවමානව පවතින බවයි.
“එදා ඒ දුම්රිය මැදිරියෙන් ඇරඹි ගමන අදටත් අපි දෙන්නා එකට යනවා. ඒ මතකය වෙනුවෙන් සහ මගේ ආදරණීය පොළොන්නරුව වෙනුවෙන්, කදුරුවෙල ස්ටේෂන් එක ලංකාවේ ලස්සනම ස්ටේෂන් එක කරලා මම ජනතාවට බාර දෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම නවීකරණ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිත අතර, එය අවසන් වූ පසු පොළොන්නරුව සංචාරක පුරවරයට නව ආකර්ෂණයක් සහ ජනතාවට ඉහළ පහසුකම් රැසක් හිමිවනු ඇත.

Leave Your Comment